Friday, November 17, 2017

පාට පෙට්ටියක් පොළවේ ගැසීම චිත්‍රපටියක් නම්?


‘පාට පෙට්ටියක් පොළවේ ගැසීම චිත්‍රපටියක් නම් ‘දේදුනු ආකාසේ‘ ද චිත්‍රපටයකි‘ කියා කීවේ මා නොවේ. අසංක සායක්කාරය. කතාව නම් ඇත්තය. ‘දේදුනු ආකාසේ චිත්‍රපටයක් නම්, ඇත්තම චිත්‍රපටිවලට කියන්නේ කුමක්දැයි‘ මම ද සිතමින් සිටිමි.

ඩීමන් ආනන්ද රහස් පරීක්ෂක කතා ලියද්දී කරුණාසේන ජයලත් ද නවකතා ලිව්වේය. මාටින් වික්‍රමසිංහ නවකතා ලිව්වේය. මේ හැම කෙනෙකුටම තමන්ගේම වූ පාඨක, රසික සමාජයක්ද විය. දැන් වුණත් සුජීව ප්‍රසන්නආරච්චිගේ කතා කියවන රසික පිරිසක් වෙත්. හැමෝටම චෙකෝෆ්, ගෝර්කි, කොයියෝ, අරුන්දතී රෝයි, සලමන් රුෂ්ඩි හරියන්නේ නැත.


ඔන්නොහේ කමක් නැත කියා හිත හදාගන්නෙමි. ඒත් ඉතින් මේ ටික නොකියාමත් බැරිය.

රූප රාමුවල දුබල පෙළගැස්ම නිසාද, හරිහැටි රඟපාන්නට බැරි නිළියන් නිසාද කතාවේ අබල දුබල බව වැඩියෙන් කැපී පෙනෙන්නේය. මේ කතාවම වුණත් මීට වඩා ලස්සනට, තාත්විකව ගොඩනගන්නට ඉඩ තිබිණි. පාට පෙට්ටියක් පොළවේ ගැසීමේ කතාව නම් ඇත්තය. ඒ තරම්ම වෛර්වණය. නමුත් භාව උද්දීපනයන් නම් දුර්වර්ණය. ප්‍රියංකර රත්නායක, ජයලත් මනෝරත්න අපරාදේ කියා ඇත්තටම මට සිතුණි. හේමාල්ගේ රංගනයේ නම් ගත යුත්තක් ඇත.

ඒ නිළියන් නම් කුමට ගත්තාදැයි නොදනිමි. එයාලා අඬද්දී මට හිනා එන්නේය. එයාල හිනාවෙද්දී මට අඬන්නට සිතෙන්නේය. ලංකාවේ මෙතරම්ම නිළි හිගයක් ඇතැයි මම දැන නොසිටියෙමි.

.......

‘ඉතින් ඔච්චරම අවුල් නම් ඇයි බැලුවෙ?‘ කෙනෙක් අසන්නට ඉඩ ඇත.
උදේ ඇස් ඇරෙන්නේම කුස්සියට යාම එපා වූ දවසකින් යැයි සිතන්න. තමන් උයා ගන්නා දෙය කදමලු බැඳගෙන ගෙන ගොස් හැමදාම තමන්ටම කන්ට සිදුවීම, එපාවෙන වැඩකි. ඒත් ඉතින් කුස්සියට නොගොස් ඉන්නට, නොඋයාම ඉන්නට බැරි දවසක් ආවම...

ඒ අතර, කාර්යාලය මතක් වෙද්දී සිහිසන් නැතිවන්නට එන්නේ නම්,
ඒ තරම් අමාරුකම් දරාගෙන වුණත් රස්සාවට එද්දී මඟදි කෝච්චිය කැඩෙන්නේ නම්,

කෝච්චිය හදාගන්නා තුරු කල් මරද්දී කාර්යාල වෙලාව පමාවන්නේ නම්,

හිටිගමන් බැස හිස හැරුණු අතක ඇවිද යන්නට සිතෙන එක වළක්වන්නට බැරිය. එහෙම ඔහේ ඇවිද යන අතරතුර දේදුනු ආකාසේ නොව ඕනෑම එකක් බලන්නට හිතක් පහළ වීම ස්වාභාවිකය. පාට පෙට්ටිය පොළවේ ගැසීම බැලුණේ අන්න එවැනි අන්තිම නරක දවසක ය.

.......

දසුන් !!! අපරාදෙ මේ කොලුවා යැයි සිතුණි. හිටියා නම් ඉදිරියේදී චිත්‍රපටවල වීරයාගේ යාළුවා වන්නටද, සමහර විට, කාලෙකදි වීරයා වන්නට වුවද ඉඩතිබිණි.


මැරෙන්නට තරම් දුකක් ආ විටදී කළ යුත්තේ ගෙට හෝ කාමරයට වැදීම නොව එළියට බැස ඇවිද යාම ය. හිත නිදහස් වන තුරු, සැහැල්ලු වන තුරු ඔහේ ඇවිද යාමය. කා එක්ක හෝ කතා කිරීම, පොතක් පත්තරයක් බැලීම, චිත්‍රපටයක් බැලීම, ගහක් කොලක් ඇලක් දොලක් ළඟ වාඩි වී සිටීම, සාප්පු සවාරි යෑම, පොත් සාප්පුවල රස්තියාදු වීම මේ වගේ ඕනෑම දෙයක් ප්‍රතිඵලදායක විය හැකිය.


ජීවිතය මරණය තරම් පහසු නොවන බව දනිමි. නමුත් අප තෝරාගත යුත්තේ ඒ අපහසු මාර්ගයම  නොවේද? 

Thursday, November 16, 2017

'ටියැන්ජින් සංධ්වනි සහ අපේ කළණි'



‘‘අක්ක එනවද චීන ඔපෙරාවක් බලන්න.‘‘

අහඹු ඇරයුමකි...

‘‘එන්නම්‘‘ කිසිත් නොසිතාම එකඟ වූයේ එකපයිනි. චීන ඔපෙරාවක් කිසිදාක බලා නැතුවා නොවේද? ඉබ්බියක් දියට දාද්දි ඇන්නෑවේ කිව්වලු.

ඇරයුම පරිදි නෙළුම් පොකුණට පිවිස සතර අත දෑස් බැල්මෙන් පිහිනා බැලීමි.

‘‘කෝ කොයි ඔපෙරා.. මොන ඔපෙරාවක්ද? අනේ උන්දැයි මායි දන්න ඔපෙරා! ‘‘

එය සංගීත සංධ්වනියකි. "Tianjin Symphony Orchestra"

ඔබ සිතන්නේ මා දුර්මුඛ වූවා කියාද? කිසිසේත් නැත. සජීවි සංගීත සංධ්වනියක අත්දැකීම කෙබඳු වනු ඇත්ද? ඉබ්බියකට පියාපත් ලැබුණා වැනි සතුටකි.

එය චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වයේ 60 වසර සැමරුම වෙනුවෙන් පැවැත්වූ සංගීත සංධ්වනියකි.


වාද්‍ය වෘන්දය තිස් දෙනෙකුගෙන් පමණ සමන්විතය. විවිධ තේමා යටතේ වාදන රටා සහ ගීත විශේෂාංග දහයක් පමණ ඇතුළත් විය. මියැසි රටාවන්ට දමා තිබූ මාතෘකා ද හරි අපූරුය.

‘‘බීජිං සිට සුභාශිංසන‘‘
‘‘වසන්තය‘‘
‘‘බට පඳුරු මියැසිය‘‘
‘‘රෝමි‍යෝ ජුලියට් ප්‍රේම පුරාවත‘‘
‘‘මගේ චීන හදවත‘‘

ඔන්න ඔවැනි හද බඳන මාතෘකාය. සතුට, උද්දාමය, විරහ වේදනාව මෙන්ම සමාධිගත නිවීමක්ද ගෙන එන්නට සංගීතය කොතරම් සමත් වන්නේද ඒ හෝරාව තුළ හදවතින්ම අත්විඳින්නට හැකි විය. වසන්ත මියැසිය සිහියට කැන්දූයේ ටිනක්ර් බෙල් කාටූන් සංගීතයය. මා එය මුමුණා අසල අසුනට පවසද්දී, ඈ කීවේ අපේ එක්කෙනත් මේ දැන් කීවේ එය බව ය.

අහා !!! ඒ සංගීත සංධ්වනියේ මිහිර !!! කියන්නට වචන නැත.

එවැනි විස්කමක් කරන්නට අප රටේ සමත් වූයේ නම් ඒ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ම විය යුතුය. අප රටින් මෙබඳු සංගීත සංධ්වනි බිහි නොවන්නේ ඇයි? එබඳු දක්ෂයින් මෙහි නොවන නිසාද? මම සිතුවෙමි. අපට දක්ෂයින්ගෙන් හිගයක් නැත. නමුත් විශිෂ්ට ගණයේ නිර්මාණ වෙත යාමට අවැසි ආර්ථික පසුබිම, විවේක බුද්ධිය, අනෙකුත් සමාජ වටපිටාව  අපේ නිර්මාණකරුවන්ට හිමි නොවීම ඔවුන්ගේ මෙන්ම අපේත් අවාසනාවකි.  

...............

පසුදින මා උන්නේ ගමේ...

උදෑසන ස්වාධීන රූපවාහිනියේ ශනිදා සාදය නෙත ගැටුණේ අහම්බෙනි.  කළණිගේ වයලීනයේ තත් හැඬවෙමින් තිබිණි. එහි අපූරුව මා කිව යුතු නැත. ඔබ හොඳින්ම දන්නා බව දනිමි. 

‘‘වචන අඩුවෙන් කතා කරන, වයලීනයෙන් වැඩියෙන් කතා කරන කළණි.‘‘ ඔහු හඳුන්වා දෙන්නේ එලෙසිනි.

කළණි පෙරේරා

සංවාදයට සහභාගි වූ කළණි පෙරේරාගේ බිරිඳ ‘ලංකාව තුළ කළණිගේ හැකියාවට නිසි තැනක්, ඇගයීමක්‘ නොලැබීම පිළිබඳව කතා කළාය. ‘ලංකාවෙ නිහඬව හිටියොත් කවදාවත් තැනක් ලැබෙන්නෙ නැහැ.‘ ඈ පැවසුවාය. ඒ මොහොතේ කැමරා කෝණය කළණිගේ හැඟුම්බර මුහුණ සමීප රූප රාමුවක රඳවා ගත්තේය. 

හද බිඳුණේ මගේය.

‘ටියැන්ජින් සංධ්වනි සහ අපේ කළණි‘ මාතෘකාව මා සිත ලැගුම් ගත්තේ ඒ මොහොතේය.  

බලා හිඳින්නම් සෙනෙහසින්... අසා සිටින්නම් සෙනෙහසින්...
ගායනය - චම්පිකා එදිරිසිංහ
ගේය පද - සමන් අතාවුදහෙට්ටි
තනුව - කළණි පෙරේරා...









Tuesday, November 14, 2017

නිවහල් කොදෙව්වක... සුසුමක... ස්ත‍්‍රී අධ්‍යාත්මය

සේයා රුව - මංජුල වෙඩිවර්ධන

( ‘අන් තැනක ජීවිත විමංසනය - බත්තලංගුණ්ඩුව නවකතාව ගැන බහුමානාවලෝකන
කෘතියට මවිසින් ලියන ලද ලිපිය )

 ‘‘...කල්පිටි කලපු දියවර මත හිරු රැස් වෑස්සෙයි. ළා හිරු රැසින් තෙමී අවදි වී ඇඟමැලි කඩාගත් කලපුව සරැළි නංවයි. සිහින් සරැළි එකෙකු පසුපස එකෙකු ලූහුබඳී. අඩුලූහුඬුකම් නැති රිද්මීය චලනයකි. කෙළිදෙළෙනි....’’

හෝරාවකට පමණ පෙර නික්ම ගිය ඩෝරාව ඈතින් තිතක් ව මතු වේ. රෝස පොහොට්ටුව ගමනාරම්භ කරන තුරු කල්පිටිය ජැටිය මත සුනංගු වෙමි. ඇන්ටනී ජීවිතය හඹා යන චාරිකාවේ එක් නවාතැනක් වූ බත්තලංගුණ්ඩුව සිසාරා සැරිසැරීමේ නොතිත් ආශාව හද තුළ පොපියයි.

‘‘මං කැමති මිනිස්සු එක්ක යන්න. අරක හොඳයි.’’ අයිස් බෝට්ටුවේ යාම ප‍්‍රතික්ෂේප කරන ඇන්ටනී මගී යාත‍්‍රාව පෙන්වමින් පවසයි. ‘‘... දුම් දමන අයිස් අතරේ පාවෙනවාට වඩා හුස්ම ගන්නා මිනිසුන් සමඟ යාත‍්‍රා කිරීම  ජීවයක් නොගෙනේද?...’’ ඔහු සිතුම හා මමද හදවතින් එකඟ වෙමි.

ශ‍්‍රී ලංකාව නම් වන දූපතේ අගනගරයේ හුදකලාව ජීවත් වන ඇන්ටනී කවියෙකි. දිගු කැරලි කෙහෙරැලින්, දිගු රැවුලින් කැරලිකාර බාහිර රූපකායකින් මෙන්ම ඇතුළාන්තයෙන්ද එකී කැරලිකාරබවට සාක්ෂි දරන්නට වෙර දරන සුන්දර තරුණයෙකි. ඔහුගේ පියා බත්තලංගුණ්ඩුව නම් වන දුර ඈත කුඩා කොදෙව්වක වෙසෙන ධීවරයෙකි. නමින් ඇඩ්ඩිංය. ඇඩ්ඩිං මුදලාලිය. ඇන්ටනීගේ හුදකලා තාරුණ්‍යය ආසිරි ගන්වන ත‍්‍රීසාගේ පේ‍්‍රමය තුළ දැහැන්ගතව හිඳින සමයක, විවාහය නමැති ගිරිදුර්ගය තරණය කරන්නට සාම්ප‍්‍රදායික කුටුම්බ පැවැත්මක් තුළින් ඔහුට බැහැර කළ නොහැකි ඇරයුමක් ලැබේ. ඒ සඳහා තමාද  ඕපපාතිකයකු නොව කුටුම්බයකින් ජනිත වූවකු බව තහවුරු කරන්නට සිදු වේ. ඒ අනුව ඇන්ටනී තම පියා අගනුවරට කැඳවා ගෙන එනු පිණිස බත්තලංගුණ්ඩුව දූපත සොයා යන්නේය. ඒ මුළුමනින්ම ආගන්තුක ධීවර විජිතයේ සම්මුඛ වන සොඳුරු මිනිසුන්, ජීවන අත්දැකීම් හරහා ඇන්ටනී මහා අපූර්වත්වයක් අත්දකියි. නිදහස අත්විඳියි. ප්‍රේමයෙන් බැඳෙයි. මිත‍්‍රත්වයෙන් පිදුම් ලබයි. ඒ සෑම හමුවීමක්ම, සිදුවීමක්ම මනබඳන කෙටි කතන්දර ගොන්නකි. නාගරික ජීවිතය යල්පිනූ කුණු බක්කියක් යැයි සිතෙන තරමටම ඇන්ටනී බත්තලංගුණ්ඩුව හා බැඳෙන්නේ අපද ආත්මීයව කොදෙව්ව හා බඳවාලමිනි.

අප බත්තලංගුණ්ඩුව දකින්නේ ඇන්ටනීගේ ඇසිනි, හදවතිනි. අප එහි සැරිසරන්නේ ඔහු පා සටහන් ඇසුරිනි. හුදු පාඨකයකු ඉක්මවා ගිය විනිවිදභාවයකින් කෘතිය ඇසුරු කිරීම ඇන්ටනීගේ ඇසින් බත්තලංගුණ්ඩුව දැකීමට සිදුවීම නම් වන ප‍්‍රබන්ධය තුළින්ම පැනෙන සීමාව ඉක්මවා කෘතිය හා බද්ධ වීමට මඟක් වනු නිසැක යැයි සිතමි.

බත්තලංගුණ්ඩුවේ ධීවර ජීවිත සුවපහසු මුදු ජීවන රටාවක් නොවේ. පැවැත්ම වෙනුවෙන් ඔවුන් පොර බදන්නේ මහමුහුද සමඟ ය. එය ජීවිතයත් මරණයත් අතර දෝලනය වන ජීවන චාරිකාවකි. භෞතික පදනමින් ගත් කළ දුෂ්කර ය. අතිශයින් දුෂ්කරය. කෘතිය ලියැවෙන අවදිය වන විට කොදෙව් ජනයා දීර්ඝකාලීන යුද්ධයක දෙපසකින් බැට කන පීඩිත ජන කොටසක්ද වූහ. නමුත් ඒ දුෂ්කර ජීවිත පැවැත්ම තුළ මහා කොදෙව්වේ සංස්කෘතික, සාම්ප‍්‍රදායික, නීතිරීතිවලින් බැහැර වූ නිදහස් ජීවන පැවැත්මක්ද විය. දුෂ්කර ජීවන පැවැත්ම තුළම ඔවුන් එකිනෙකා හා මනුෂ්‍යත්වයෙන් බැඳී ඇත. ඒ බන්ධනය මහමුහුද, අහස හා සමස්ත සොබාදහම සමගම බැඳී වෙළී පවතින්නකි. කොදෙව්වේ වේදනාබර කටුකත්වය තුළ වුව අසිරියක් මැවෙන්නේ එහෙයිනි.


එහි ජීවිතය ගලායන්නේ ස්වාභාවිකත්වයෙන් තීරණය වන මනුෂ්‍ය අවශ්‍යතා මත මිස නීතිය හෝ සම්ප‍්‍රදාය මත නොවේ. මහා කොදෙව්වේ සිට පිවිසෙන කතුවරයා වසඟ වන්නේ සම්මත සීමාමායිම් නොතකන, ස්වාභාවිකත්වය සමඟ අත්වැල් බැඳගත් දුෂ්කර මුත් නිදහස් ඒ ජීවන පැවැත්ම කෙරෙහිය. ඔහු ග‍්‍රහණය කර ගන්නේ ඒ අසිරියය. බත්තලංගුණ්ඩුව පුරා ගලා යන්නේද එකී මනුෂ්‍යත්වයේ අසිරිමත් කතන්දරය ය.

ඇන්ටනී කොදෙව්වට පිවිසෙන්නේ මිලාන් කුන්දේරාගේ ජීවිතය අන් තැනක කෘතියත් රැගෙනය. ‘‘ජීවිතය අන් තැනක‘‘ යන්නම බහුඅර්ථ දනවන්නකි. අප බොහෝ විට ජීවත්වීම යනුවෙන් සිදු කරමින් සිටින්නේ ද ජීවිතය හඹා යෑමකි. අප කොතරම් වේගයෙන් හඹා යන්නෙමුද, එතරම්ම වේගයෙන් අපට ජීවිතය මග හැරී යන අවස්ථා සුලබය. ඇඩ්ඩිං මුදලාලි ඇතුළු දූපතේ වෙසෙන සියල්ලෝද අන්තැනක වන ජීවිතය සොයා පැමිණියෝ වෙති. ඔවුහු මහාකොදෙව්වෙන් හුදකලා දූපතට සංක‍්‍රමණය වූවෝය. එසේ පැමිණ හසුකර ගත්, හඳුනා ගත් ජීවිතය මහමුහුද, සහ කොදෙව්ව අතර නිර්මාණය කර ගෙන ඔවුහු දිවි ගෙවති.

ලිලී නෝනා ගුණ්ඩුවේ සිට මග හැරුණු ජීවිතයට වන්දි ගෙවන්නීය. එය ජීවිතය හඹා යෑමේ දී සිදු වූ අතපසුවීම්, අවුල් තැවුල් දරා ගැනීමකි. සමා කර ගැනීමකි.  ඒ අතර විවාහ වී වසර විසි දෙකක් තුළ දරුවන් එකොළහක් බිහි කළ නීටා තමන්ට අහිමි වූ ජීවිතය සොයා ඇන්ටනීට නිවහල් කොදෙව්වක් වූ ගුණ්ඩුවෙන්ම පළා යන්නීය. මගහැරුණු ජීවන තෘප්තියක් හඹා යන ගේ‍්‍රටා අවසන අත්පත් කරගන්නේ සදාකාලික රිදුමකි.

මේ චරිත අධ්‍යාත්මිකව ගවේෂණය කරන විට ඔවුන් ස්වකීය ජීවිතය හඹා යාමේ චාරිකාව තුළ විමුක්තිය, සැනසිල්ල හෝ රිදුම, බිඳුම, කඳුළ අයිති කර ගන්නා බව හැඟේ. ජීවිතය සදාකාලික හිරගෙයක් වීම හෝ නොවීම තීරණය වන්නේ අප ජීවිතය හඹා යාමට තෝරා ගන්නා මාවත අනුවද? ඒ සදාකාලික සිරගෙය තුළ වුව විමුක්තිය, සැබෑ විමුක්තිය අත්විඳින්නට අපට නොහැකිද? ඇන්ටනී බත්තලංගුණ්ඩුව තුළ මේ අත්විඳින්නේ සදාකාලික සිරගෙය තුළ දිනා ගත්  විමුක්තියක නිමේෂයක් ද?

‘‘පෞද්ගලිකව එයා මෙයා ගැන කතා කිරීම ප්‍රෝඩාවක්. කොහොමටත් ගෑනියෙක් කියන්නෙ පුදුමාකාර විජ්ජාවක්. අපි දන්නවා හොඳාකාරවම මේක ඇස් බැන්ඳුමක් කියලා. ඒත් සතුට තියෙන්නෙ ඒකට රැවටෙන එකේමයි. නැද්ද මං කියන්නෙ’’
- සින්බෑඩ් -

බත්තලංගුණ්ඩුවේ පිටු අතර දැහැන්ගත වන සෑම මොහොතකම මා පාරවන, කම්පනය කරන බරපතලම කාරණය එහි වන ස්ත‍්‍රී අධ්‍යාත්මයේ ශෝකී සුසුම් ය. මගේ කියවීමේ මූලික අවධානය එකී සුසුම් ස්වර සමාධිය වෙනුවෙනි. 

මහා කොදෙව්වේ ඇන්ටනීගේ ජීවිතය හා බැඳී සිටි මව, ආච්චි, ත‍්‍රීසා මෙන්ම හුදකලා කොදෙව්වේ දී ඔහු හා බැඳෙන ගේ‍්‍රටා, ආනමරියා ඇතුළු ලිලී නෝනා, ජසින්තා, නීටා, වයලට්, සින්බෑඩ්ගේ බිරිඳ, ආනමරියාගේ වාඩියේ කෙස්ස පීරන මැහැල්ල, වික්ටර්ගේ දෙවන බිරිඳ, රෝස පොහොට්ටුවේ හමුවන කාන්තාවන් දක්වා වන ස්ත‍්‍රී චරිත ස්ත‍්‍රිය පිළිබඳව ගැඹුරු කතිකාවතකට අප යොමු කරවයි. බත්තලංගුණ්ඩුවේ ස්ත‍්‍රීය අප දකින්නේ ඇන්ටනී තුළිනි. ඔහු ජීවිත ගනුදෙනුවක යෙදෙන ස්ත‍්‍රිය ඇසුරිනි. එසේම ඇන්ටනී අසන, දකින ජීවිත කතාවල නිරූපිත ස්ත‍්‍රී චරිත ඇසුරිනි. මේ සියල්ල සමග ම ඇන්ටනී නොකියන, නොදකින ස්ත‍්‍රී අධ්‍යාත්මයද නිහ සුසුමක, කඳුළක, බැල්මක, රැවුමක, ඇණුමක බැණුමක, පළායාමක දැවටී අප හදවත් කලම්බනය කරයි.

ඇන්ටනී, ඇඩ්ඩිං මුදලාලි ඇතුළු සමස්ත පිරිමින්ගේ ලෝකය සොයන, අත්විඳින නිදහස ස්ත‍්‍රී ජීවිත තුළ කෙබඳු හැඩතල ගන්නේද, කෘතිය තුළින් ම එවග සංවේදීව ඉස්මතු වන්නේය. ජීවිතය හඹා යන පිරිමින්ගේ ලෝකයේ ස්ත‍්‍රියගේ භූමිකාව කුමක්ද යන්න ප‍්‍රශ්න කිරීමට එය අප පොළඹවයි. පේ‍්‍රමය, නිදහස යනු මනුෂ්‍යත්වයට පොදු වූ ධර්මතා වුවද ස්ත‍්‍රි පුරුෂභාවය මත එහි අර්ථයද වෙනස් වන බව පෙනේ. එක් අතකින් නිදහස දිනා ගන්නට, ස්ත‍්‍රීභාවය තුළ නිදහස අර්ථ ගන්වන්නට තරම් ධෛර්යයක් කාන්තාව තුළ නොවීම පැහැදිලි වන අතරම, අනෙක් අතින් කාන්තාවක් වන නිසාම ජීවිතය හඹා යෑමේ ඉඩකඩ ඇහිරී ඇති බවද ගම්‍ය වේ. සම්මත සමාජය විසින් පනවන වාරණ සේම තමන් වෙත වාරණ පනවා ගන්නට ගැහැනියටම සිදු වීමද ඛේදවාචකයකි.  විටක ඇය වාරණ පනවා ගන්නේ ස්වකැමැත්තෙනි. ඒ ගෘහණිය, බිරිඳ, මව, දියණිය වැනි භූමිකා තුළ ගෞරවණියව සැරිසැරීමේ ස්වයංසිද්ධ ප‍්‍රීණනය වෙනුවෙනි. මෙයින් බැහැරවන කාන්තාවන් ලාංකීය සමාජයේ ඉතා විරල අත්දැකීමකි.

බත්තලංගුණ්ඩුව නවකතාවේ අපට මුලින්ම හමුවන කාන්තාව ත‍්‍රීසාය. නවකතාව පුරාම වරින් වර මතුවෙමින්, යටපත් වෙමින් අවසානය දක්වාම අප හා ගිය ද, ඒ ඇන්ටනීගේ සිතුවිලි තුළින්ම පමණි. ඍජුවම ඇය අපට හමුවන්නේ නැත. එනිසාම අපට ඇන්ටනීගේ වචන තුළින් ම‍ ත්‍රීසා කවුරුන්දැයි මවා ගන්නට සිදු වී තිබේ. එය ත‍්‍රීසාට සිදුව ඇති මහත් ම අසාධාරණයකි. සැබවින්ම ඇය අන්තැනක වන ජීවිතයකි. ඇන්ටනී තුළ ත‍්‍රීසා පිළිබඳව වන සිතුවිලි විටෙක කෘතවේදීබවක් හැඟවූවද, පේ‍්‍රමණීය බවක් දනවන්නට උත්සාහ කළද, එය හදවතින්ම පැන නැගෙන අව්‍යාජ සිතුවිල්ලක්ද යන සැකය පාඨකයාට දැනෙයි. ත‍්‍රීසා ජීවිතයෙන් දුරස් වීම හෝ දුරස් කිරීම සාධාරණීකරණය කරන්නට උත්සාහ දරන බවක් හැඟේ. මෙය කෘතිය ආරම්භයේ සිටම අවසානයේ ත‍්‍රීසාට ලියන ලිපිය දක්වාම ඈ සම්බන්ධව ඇන්ටනීගේ සිතුවිලි ධාරාව හා බද්ධ වී ඇත. බත්තලංගුණ්ඩු චාරිකාවේ මුල සිටම ත‍්‍රීසා පිළිබඳව ඇන්ටනී මවන්නේ තම පැවැත්ම හා බද්ධ නොවන, එකඟ නොවන චරිතයක් ලෙසිනි. එහි වරද ත‍්‍රීසා මතම පැවරෙන ලෙසිනි. ඔහු එමගින් සිය නිදොස්භාවය තහවුරු කරගනියි. ඇන්ටනී සැබවින්ම බත්තලංගුණ්ඩුවට යන්නේ ඈ වෙනුවෙන් තාත්තා සොයා ගැනීමටද, නැතිනම් ඈ වෙතින් පළා යාමටද යන පැණය අප තුළ මතු වන්නේ ඔහු ත‍්‍රීසා පිළිබඳව විටින් විට කරන විවරණ හේතුවෙනි.

ත‍්‍රීසා කෙරෙහි වන ඇන්ටනීගේ සිතුවිලි සමුදාය කෙලෙස වුව, ඔහු ස්ත‍්‍රිය පිළිබඳව ගෞරවයෙන්, පේ‍්‍රමයෙන් දුරස් වූ අයෙක් නොවන බව ඔහු තම මව, ආච්චී, ආනමරියා මෙන්ම අනෙකුත් කාන්තාවන් පිළිබඳවද සිතන සිතුමෙන් පැහැදිලි වේ.

 By Vladimir Volegov 

ඇන්ටනීගේ මව බත්තලංගුණ්ඩුව තුළ ජීවමාන චරිතයක් නොවූවද කම්පනයක් දනවන චරිතයකි. ඇය තරුණ වියේදීම තම ස්වාමිපුරුෂයාගෙන් දුරස්ව හුදකලා වූ ගැහැණියකි. ඇඩ්ඩිං මුදලාලි සමග වන බැඳීමෙන් විවාහ රෙජිස්ට‍්‍රාර් කාර්යාලය තුළදීම පිළිකා ගැන්විණැයි ඇන්ටනී විසින්ම සඳහන් කරන ඔහුගේ මව, සිය කුටුම්භ ජීවිතය තුළ අත්විඳි ශුන්‍යත්වයට පිළිතුර ධර්මය වෙතින් සොයා ගිය කාන්තාවකි. කිසිදු ඉල්ලීමකින් තොරවම ඇය තමන්ට ලැබුණු ජීවිතය බාරගන්නට ඇතැයි සිතිය හැකිය. රිදුම් බිඳුම් වුවද නිහඬවම දරා ගන්නට ඇත.

බත්තංලගුණ්ඩුව නවකතාව තුළ ප‍්‍රබලව මතු වන සංවේදී ස්ත‍්‍රියකි ගේ‍්‍රටා. එසේම බහුතර සද්ගුණවත් සදාචාරසම්පන්න සමාජයේ විරෝධතාව එල්ල විය හැකි ස්ත‍්‍රියද ගේ‍්‍රටාය. ඇය ඇඩ්ඩිං මුදලාලි සමග ජීවත් වීමට පැමිණෙන්නේ ස්වාමියා අහිමිව දියණියක සමග හුදකලා වූ දිවියට රැකවරණය අපේක්‍ෂාවෙන් බව පැහැදිලිය. කාන්තාව යනු තනිව දිවි ගෙවිය නොහැකි අසරණ සත්ව කොට්ඨාශයක්ය යන මතය තවම මුළුමනින් සමාජයෙන් බැහැරව ගොස් නැත. තවමත් කාන්තාව ගසක එතී සුරක්‍ෂිත විය යුතු ලතාවකි. ගේ‍්‍රටාගේ තාරුණ්‍යයත්, ඇඩ්ඩිංගේ මැදි වියත් අතරට පැමිණෙන ඇන්ටනී ගේ තාරුණ්‍යය මෙන්ම නිදහස්කාමී දිවි පැවැත්මද ගේ‍්‍රටාගේ හැඟීම් පුපුරා යන්නට හේතු නොවී යැයි කිව හැකිද?

ගේ‍්‍රටාගේ සංවේදී සිත එළිදකින ප‍්‍රබල හැඟවුමකි ඔවුන් මුල්වරට සමීප වන රැය. බමන මතින් දාර්ශනික සිතුවිලි සමග අන්ධකාරයේ වාඩියට පැමිණෙන ඇන්ටනීට හමුවනුයේ නිදි නැති ගේ‍්‍රටාය. ඇය තමා නපුරුදැයි ඇන්ටනීගෙන් විමසන්නේ ඇයටම තම හැඟීම් පිළිබඳව නිශ්චිත නොවන බව හඟවමිනි. තම හදවත තේරුම් ගන්නට කිසිවෙක් නැති බව ඈ සිතන්නාක් මෙනි. තමා තේරුම් ගන්න යැයි ඇන්ටනීට වක‍්‍රව පවසන්නාක් මෙනි.

‘‘මං කොහෙත්ම එහෙම නෑ.... දැං ළඟක් ඉඳන් නපුරුද මන්දා. අනේ මන්දා’’

මේ ළඟක් ඉඳන් යනු කෙසේවත් ඇන්ටනී ගුණ්ඩුවට පැමිණි පසු විය නොහැකිය. ගෙවෙමින් පවතිනුයේ බත්තලංගුණ්ඩුවේ ඔහුගේ දෙවෙනි රාත‍්‍රියයි. ඉන් පෙර සිටම ගේ‍්‍රටා තුළ සිරගතව කැකෑරෙමින් පැවති හැඟීම් සමුදාය ළිහිල් වී, නිදහස් වී ගලා යන අයුරු බත්තලංගුණ්ඩුවේ ඉතා සංයමයෙන් දිග හැරී තිබේ. එය පේ‍්‍රමණීය සැලසුමක ප‍්‍රතිඵලයක් නොව ස්වභාවික හැඟීම් ගොන්නක ක්‍ෂණික මුදා හැරීමකි. ඉනික්බිති වුවද ඔවුන්ගේ ලිංගික එකතුව අවශ්‍යතාව මත මිස පේ‍්‍රමය මත පවතින්නක් යැයි සිතීමට සාක්‍ෂි ඇන්ටනීගේ සිතුවිලි තුළ හමු නොවේ. 

ඇන්ටනී ඇයට බිය බවද, ඈ තේරුම් ගත නොහැකි බවද පවසන අවස්ථාවේ වේදනාවෙන්ද, ලැජ්ජාවෙන් ද පිරුණු ගේ‍්‍රටාගේ මුහුණ, විසල් දෙනෙත මා අබියස මැවී පෙනෙන්නාක් මෙනි. තමන්ව තේරුම්ගන්න යැයි ඉල්ලා සිටි අයගේ මුවින්ම තේරුම් ගත නොහැකි යයි අසන්නට ලැබීම, තමා තේරුම් ගනීවියැයි බලාපොරොත්තු වූ පුද්ගලයාම තමාට බිය බව පැවසීම ගැහැනියකගේ සිත කොතරම් පාරවන්නක් විය යුතුද? තමන්ට තේරුම් ගන්නට බැරි, තමා බියපත් වන කාන්තාවක් වෙත යන්නට මෙවර ආලෝකය නිවා දමන්නේ ඇන්ටනී විසිනි. හදවත කියවනු වෙනුවට ශරීරය කියවීම. ගැහැනියගේ අනිවාර්ය උරුමය එය විය යුතුද?

පාවුලෝ කොයියෝගේ මිනිත්තු එකොළහ නවකතාවේ මරියා තබන දින සටහනක කොටසක් සිහිපත් වේ.
‘‘මගේ අරමුණ ආදරය කිරීම කියන දේ තේරුම් ගැනීම වුණත් මම මගේ හදවත පූජා කරපු උන් ගැන මතක් වෙන කොට වේදනා ගෙන දුන්නත් මට තේරුණ දේ තමයි මගේ හදවත් ස්පර්ශ කරපු එවුන්ට බැරි වුණා මගේ ශරීරය අවදි කරන්න. ඒ වගේම මගේ ශරීරය අවදි කරවුන්ට පුළුවන් වුණේ නැහැ මගේ හදවත අවදි කරන්න. ’’


ගේ‍්‍රටා සම්මුඛයෙහි රිදුම් දෙන සත්‍යයත් මෙයම නොවේද? තම ශරීරය අවදි කළ මිනිසා සිය රිදුම් දෙන හදවත තේරුම් නොගැනීම, තම හදවත තේරුම් ගත් මිනිසාට ද්‍රෝහි වී යැයි හද පත්ළෙන් නැගෙන විලාපය, ගේ‍්‍රටාගේ ඇස්වල දිදුලන කඳුලක, මුවින් නැගෙන සුසුමක සැඟවී ඇත්තේ එකී දුක්ඛ සත්‍යය නොවේ ද?

වරදකාරී හෘදසාක්ෂිය ස්ත‍්‍රීය මත පවරා තමන් නිදොස්වීමේ හෝ, නිහඬව සිටීමේ ඇන්ටනීගේ ආත්ම කේන්ද්‍රීය ගති ලක්‍ෂණය පිළිබිඹු වන අවස්ථා කිහිපයක්ම වේ. ගේ‍්‍රටාගේ වේදනාව, අසරණභාවය හමුවේ ඔහු සිතන්නේ මා කුමක් කරන්නද?‘ යනුවෙනි. මොකද කරන්නේගේ‍්‍රටාගේ පැණයට ඔහුගේ පිළිතුර මං යනවා කොළඹයන්නය. ඔහු සූදානම් වන්නේ ප‍්‍රශ්නයෙන් පළා යන්නටය. ඔහු නගරයෙන්, ත‍්‍රීසාගෙන් පළා එන්නේත් මෙලෙසමයැයි සිතිය නොහැකිද? අවම වශයෙන් අසරණ ව සිටින ගැහැණිය ගේ හිත හැදෙන්නට එක් වචනයක්වත් පැවසීමට හිත නොනැමෙන්නේ ඇයි? මිත‍්‍රත්වය අබියස දොඩමළු වන හදවත තම ජීවිතය හා බද්ධවන ස්ත‍්‍රීන් හමුවේ මුනිවත රකින්නේ ඇයි? ත‍්‍රීසා හමුවේ පවා ඇන්ටනීගේ හදවත විවෘත වන බවක් දක්නට නොලැබේ. ඇගේ නොතේරුම්කම දැන දැනම ඇයට ලියන කවි, ලිපි පවා සංකීර්ණය. ඇය අවුලෙන් අවුලට පත් කරවනු ඇති බව ඔහුම සිතයි. සිය සිතුවිලි හමුවේ පන්හිඳට දොඩමළු වන්නට ඉඩ හැර මුනිවත රැකීම ඇන්ටනී ගේ කාව්‍යමය හදවතේ සුවිශේෂත්වයක්ද? නමුත් ඒ නිසාම ඔහු හා බැඳෙන ස්ත‍්‍රීන් කොතෙක් දුරට වේදනාවට පත් වන්නේද? ඒ වේදනාව, පීඩනය ග‍්‍රහණය කර ගන්නට ඔහු සමත් වේද ?   

කතුවරයා මේ නිරුවත් කරනුයේ ඇන්ටනීවද? එසේත් නැතිනම් සමස්ත පිරිමි වර්ගයාගේ ආත්මාර්ථයද? ජීවිතය හමුවේ අභියෝග නොකරන, අරගල නොකරන, ජීවිතය හඹා නොයන ගැහැණියගේ දුර්වල අධ්‍යාත්මයද?

බත්තලංගුණ්ඩුව නවකතාව තුළ නිරූපිත සුවිශේෂ කාන්තා චරිතයකි ආනමරියා. ගුණ්ඩුවේ අනෙකුත් ස්ත‍්‍රීන් හා සසඳන විට ඇය උගත්ය. ස්ථිර නැතද, අනියම් වුවද සිදු කරන්නේ රජයේ රැකියාවකි. එසේම ඇය ස්වාධීන ගැහැනියකි. කටකාර දොඩමළුවට මෙන්ම ඉසියුම් හෘද සංවාදයටද සමත්කම් දක්වන්නියකි. හෘද සංවේදී පේ‍්‍රම පාරමිතාවට සේම, උණුසුම් ලිංගික පාරමිතාවටද නොමැලිව ඇන්ටනීගේ ආත්මය හා බද්ධ වන්නියකි.

මිලමුදල, වාසි අවාසි, යස අයස නොතකා ඇය සේවයට කැප වෙයි. සැබෑ කිතුනු උවැසියක මෙන් ඇය දේව සේවයටද කැප වන බව පෙනේ. ඇගේ ඒ පැවැත්ම කන්‍යා සොයුරියකගේ ව්‍යාජ පිළිවෙල ඉක්මවා යන්නක් ලෙසිනි ඇන්ටනී දකින්නේ. පේ‍්‍රමවන්තිය ඉක්මවා ගිය මිනිස්කමින් පිරුණු ගැහැනියක් ඔහු ඇය තුළින් හඳුනා ගනී.

නමුත් ආනමරියා ගේ‍්‍රටාගේ ප‍්‍රතික්ෂේපයට ලක් වන්නේ ඉතා දරුණු ලෙසිනි. ‘‘බයිබලෙත් කිහිල්ලෙ ගන්නගෙන වල්කමේ යන උජාරුව’’ එය ඉරිසියාසහගත සිතින් පිට වූ වැකියක් මෙන්ම ගුණ්ඩුවේ පතළ අදහසක් ලෙසද සිතිය හැකිය. ඇන්ටනී ආනමරියා වෙත ආසක්තව හිඳිනු දක්නා විට සින්බෑඩ් පවා සිය ස්ත‍්‍රී විරෝධයේ අවි ඔසවන අයුරු දක්නට ලැබේ.

ආනමරියා මෙවැනි ප‍්‍රතිචාර නිසා වේදනාවට පත් වුවද එයින් සැලෙන බවක් නොපෙනේ. ඇය නිහඬව සියල්ල උසුලයි. අවස්ථානුකූලව හැසිරෙයි. විවෘත, කෙළිලොල්, සැහැල්ලූ බවක්ම ප‍්‍රකට කරවයි. නමුත් ඇගේ ජීවිතය ඇන්ටනීට මතු නොව අපට පවා හසු කර ගත නොහැකි මානයේ වන සංකීර්ණ එකක් බව වයෝවෘද්ධ මාතාව පිළිබඳව කරන ප‍්‍රකාශයෙන් මෙන්ම ඒ සමඟ වාඩියෙහි වන කුඩා දරුවා පිළිබඳව ඇන්ටනී තුළ මතු වන වික්‍ෂිප්ත සිතුවිල්ලෙන්ද පිලිබිඹු වේ. පේ‍්‍රමය මතම මිස ඇය වෙත ලිංගික බලහත්කාරයක් පෑමට ඉඩක් නැති බව ඇය පොලිස් නිලධාරීන් සමඟ අතේ දුරින් පෑහී සිටින්නට දරණ උත්සාහයෙන් පවා පෙනේ. ඇන්ටනී ගුණ්ඩුවේ අත්දකින ලිංගික නිදහස ස්ත‍්‍රියගේ පැත්තෙන් ගත් කළ සැබෑම නිදහසක්ද යන ගැටලුව මතුවන්නේ මෙබඳු තැන්වලදී ය.

ඇන්ටනීට  ඕනෑම වෙලාවක වාඩියට පැමිණීමේ විවෘත අවසරපත‍්‍රය ලබා දෙන්නට තරම් ධෛර්යයක් තිබුණද සමාජයේ අවඥාවට, උදහසට හෝ සිනාවට බඳුන් වීමේ දිරියක් ආනමරියාට නැත. ඇන්ටනී දෙසට දිගු නොවන වරදකාරී හස්තය තමා වෙතට දිගුවන බව ඇය දනී. සමාජය විසින් පිරිමියාට අත් කර දෙන ලිංගික නිදහස ගැහැනිය භුක්ති විඳිනු දකින්නට රිසි නොවන බව ඇය දනියි. රමණයේ රමණීය ආස්වාදය විඳින මොහොතේ කුටියේ කවුළු වසා තබන්නට ඇය ප‍්‍රවේසම් වන්නේ එහෙයිනි. ඉදින් නිවහල් කොදෙව්ව තුළ සුලබ යැයි ඇන්ටනී දකින පේ‍්‍රමය හෝ ලිංගික නිදහස ස්ත‍්‍රී අධ්‍යාත්මය තුළ යථාර්ථයක් වන බව සිතිය හැක්කේ කෙසේද?

මල්පබාගේ වත්මන් බිරිඳ වයලට් තම නීත්‍යනුකූල ස්වාමිපුරුෂයා විසින් බැහැර කරනු ලදුව පබිලිස් වෙත පැමිණ දිවි ගෙවන්නියකි.

‘‘.... ඕකි මට හිතවත් කියලා මාටියා දෝස් මුරේ දාල.  මට මෙලෝ රහක් නෑ.  බැරිම තැන  ඕකි මෙහෙ ආව.  මං මුකුත් කීවෙ නෑ.  අදටත් නෑ.  යන දවසක යච්චාවෙ. එතකල් ඔහෙ හිටියදෙන්.  කරදරයක් නැති ගෑනි.  ඉන්නව දන්නෑ.. ’’

 එක් පිරිමියකු වෙතින් ප‍්‍රතික්ෂේප වන වයලට් පැමිණෙන්නේද තමන්ව මෙලෝ රහක් නැති ගැහැනියක ලෙස හඳුනා ගත් පුද්ගලයකු වෙතය. ඉදින් ගංජා බිවු අයෙකු ලෙස ඈ මලානිකව, තෝන්තුවාවෙන් දිවි ගෙවීම අරුමයක්ද? නිසි කලට වැසි ලද විට මනුෂ්‍යයන් තුළ පවා මල් පිපෙන බව අසා ඇති ඇන්ටනී ආනමරියා සමග රමණීය රමණයෙන් පසුව එය ස්වර්ගීය සත්‍යයක් නො වන්නේද යනුවෙන් තමන්ගෙන්ම ප‍්‍රශ්න කරගනියි. එවැනි පේ‍්‍රමයක්, අනුරාගයක්, පිළිගැනීමක් නොලද වයලට්ගේ ආත්මය කෙසේ නම් මලක් සේ පිබිදී එන්නද?

කොදෙව්ව තුළ ඇන්ටනීට හමු වන පුංචි වීරයාගේ මව නීටා ය. ඇන්ටනී කොදෙව්වට සම්ප‍්‍රාප්ත වන විට ඇය කොදෙව්වෙන් පළා ගොසිනි. ඒ වසර විසි දෙකක් පවුල් කෑ, තම ස්වාමියාද ඒ වසර විසිදෙක තුළ තමා උපත දුන් දරුවන් එකොළොස් දෙනෙකුද හැර දමාය. ඇගේ ස්වාමියාගේ දැක්මට අනුව ඇය ‘පට්ට වේෂියකි. පශ්චාත් නූතනවාදී, නිදහස්කාමී ඇන්ටනී පවා ඇගේ ක‍්‍රියාව දකින්නේ දිගුකාලීන මහන්සිය, කැපවීම, පේ‍්‍රමය කලපුවට විසි කොට, තම සැමියාගේ ආඩම්බරයට පයින් ගසා සුණුවිසුණු කොට පළා ගිය ගැහැනියක ලෙසිනි.  

බීමත්කමේ ගොදුරක්ව පියා අහිමි වීමෙන් සහ මව අන්පුරුෂයකු හා බැඳීමෙන්, ඒ කුඩප්පාද බේබද්දෙක් වීම නිසා ඔහුගේ ගොදුරක් බවට පත් නොවීමට නම්, සිය ආසන්නතම ගැළවුම ජීවිතය කර ගන්නට නීටාට සිදු වේ. ඒ නීත්‍යානුකූල නොවන සරණබන්ධනය සිදු වන්නේ පේ‍්‍රමය නොව අනුකම්පාව සහ රැකවරණය යන කාරණා මුල් කර ගනිමිනි. එක් අනතුරකින් මිදීමට පැමිණෙන නීටා වසර විසිදෙකක් දරුවන් එකොළහක් සමග කෙබඳු දිවියක් ගෙවන්නට ඇතිද? විමුක්තිය සොයා පැමිණි ඇය නැවත වහල් දිවියකට පත් වී නැතැයි කිව හැකිද? දරුවන්, ස්වාමියා, පවුල හැර දමා යාම සම්මත සදාචාරයට එකඟ නොවන කාරණයක් බව සත්‍යය. නමුත් ඇය කොදෙව්වෙන් පළා ගොස් ඇත්තේ කොදෙව්ව තුළ ඇයට අහිමි වූ ජීවිතය සොයා ගෙන නොවන්නේද?

සමස්ත ස්ත‍්‍රී වර්ගයා පිළිබඳව මෙන්ම ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් පුරුෂ කේන්ද්‍රීය සමාජ, ආර්ථික දේශපාලන  බලපෑම පිළිබඳව ගැඹුරු සාකච්ඡාවකට යා හැකි පැහැදිලි සිත්තමක් අඳින්නටද කතුවරයා සමත් වී ඇත. විටෙක සංවාද, සිදුවීම්, චරිත ගොඩ නගන ආකාරය ස්ත‍්‍රී අධ්‍යාත්මයේ සියුම් බව සංකීර්ණවද, සංකීර්ණ බව සියුම්වද ගොනු කොට තබන්නේ සමුදුරක සිතුවිලි ගොනු වූ මුතු කැටක් පරිද්දෙනි. 

‘‘...නාගරික පේ‍්‍රම දුක්ප‍්‍රාප්තියකට සාපේක්ෂව නිවහල් කොදෙව්වක පේ‍්‍රමයේ එළිපත්ත වුව කෙතරම් හෘදයංගමද? මා මෙතරම් ම නිදහස්ව ප‍්‍රශ්වාස සුසුම් හා මුසු කොට පා කොට හරින්නේ මෙතෙක් මා විඳි හෘදයේ අධි පීඩනය නොවේද? හෘදයේ කැටි ගැසුණු පිළුණු මතකයේ මේද ස්ථරය කලපු සුළඟින් දියව ගිය පසු ඉතිරි වන්නේ හෘදයංගමභාවය මිස අන් කවරක්ද?...’’

Romantic Paintings-The Storm by Pierre Auguste Cot

සිය කෘතිය තුළ පේ‍්‍රමය උත්කර්ෂයට නගන්නට මංජුලට අවැසි වූවාට සැක නැත. සමාජ, ආර්ථික, දේශපාලන උවදුරුවලින් දුරු වූ, සම්මත සදාචාර සීමාමායිම් වැටකඩුළුවලින් මිදුණා වූ පේ‍්‍රමයලිංගිකත්වය, නිදහස, ජීවිතය හා එක්ව ගමන් කරන නිවහල් සිහිනයක හැඩතල බත්තලංගුණ්ඩුව තුළ දිග හරින්නට ඔහු උත්සාහ දරණ බව පෙනේ.

හුදකලා නාගරික ජීවිතයේ ඇන්ටනීට හමුවන පේ‍්‍රමය ත‍්‍රීසාය. සිය ගන්ධබ්බ අධ්‍යාත්මය අළු දූලි පිස සුරුවම් කුඩුවක තැන්පත් කළේ ඇය වුවද එම පේ‍්‍රමයම විලංගුවක් වන බවට මග ලකුණු පෙණුනද, ආදම් සහ ඒවගේ සිට මව්පියන් දක්වා ජීවිත කියැවීමෙන්  විවාහය වහකදුරු මෙන් වුවද, එම කදුරු ගෙඩියෙන් ක‍්‍රිකට් ගැසීමට ඇති අවිඥානික සිහින සිතුවිල්ල තමන්ගේ සියලූ මතවාද සුන්නද්ධූලි කරවන බව ඇන්ටනී පවසයි.

වහකදුරු වන විවාහයට වුව ඔහු කැමැත්ත දක්වන්නේ සැබවින්ම ඒ සඳහා වන කැමැත්තකට නොව පේ‍්‍රමයේ ඓශ්චර්යය නොසිඳී පවත්වාගන්නට දරන උත්සාහයක් ලෙසට ය. තවත් අතකින් හුදකලා ආත්ම කේන්ද්‍රීය ජීවිතය තුළ අහිමි වී ඇති යමක් අත්පත් කර ගනු පිණිසය. පේ‍්‍රමය යනු බාහිර රූපකාය කෙරෙහි ආකර්ෂණය හෝ  ලිංගික ආකර්ෂණය ඉක්මවා ගිය අධ්‍යාත්මික කාරණයක් නොවන්නේද? මේ ක‍්‍රමයෙන් බිඳ වැටෙමින් පවතින්නේද, බත්තලංගුණ්ඩුවේදී සදහටම ලිහී විසිරී යන්නේද බලහත්කාරයෙන් පණ පොවන්නට උත්සාහ දරන පේ‍්‍රම බන්ධනයක් නොවේද? ත‍්‍රීසා යන නාමය තෙරේසා මව්තුමිය සිහි ගැන්වුවද ඇන්ටනී ඇයට මාර දූතිකාව ලෙස ඇමතීම, ඔහුට ඇය සැලෝමි රජකුමරිය ලෙස පෙනීම උත්ප‍්‍රාසාත්මකය. ත‍්‍රීසාගේ සිනහව පවා අපුල සිරික්කියක් ලෙස පෙනීම පේ‍්‍රමයේ අසිරිය පිළුණු වෙමින් පවතින බව ගම්‍ය කරයි.

මුලදී මුහුද මත ඇවිදීම බඳු ප‍්‍රාතිහාර්යයක් වූ ඇගේ පේ‍්‍රමය පසුව ඇන්ටනී දකින්නේ නාගරික පේ‍්‍රම දුක් ප‍්‍රාප්තියක් ලෙසිනි. ඈ වෙනුවෙන් අවසන් ලිපිය ලියන අවස්ථාව වන විට ඉතිරිව ඇත්තේ අනුකම්පාව, දයාව මෙන්ම බන්ධනයකින් ගැළවීමේ සැනසිල්ල වැනි හැඟීමක් යැයි සිතේ.

ඇන්ටනී සහ ගේ‍්‍රටා අතර ඇති වන සම්බන්ධය පේ‍්‍රමය පදනම් කර ගත් එකක් නොවන බව පැහැදිලිය. ගුණ්ඩුවේ සැබෑ පේ‍්‍රමණීය ගති ලක්‍ෂණ විදහා දක්වන චරිත ලෙස මා දකින්නේ ඇඞ්ඩිං මුදලාලි සහ ආනමරියාය. ඇඞ්ඩිං මුදලාලි ජීවිතය තුළින්ම පසක් කර ගත් පිරිපුන් පේ‍්‍රමයක හිමිකරුවෙකි. ගේ‍්‍රටා පිළිබඳව ඔහු තුළ වන ළෙංගතුකම ආත්මාර්ථය ඉක්මවා ගිය, මානව දයාවද, තේරුම් ගැනීමද සමග එක්ව අත්වැල් බැඳගත්තකි.

රෝස පොහොට්ටුවේදී ඇන්ටනී සහ ආනමරියා එකිනෙකා දකින මුල් අවස්ථාවේදීම ආකර්ෂණීය බැඳීමක් ඇති කර ගනිති. කොදෙව්වේදී පේ‍්‍රමයක් බවට පත් වනුයේ ඒ ආකර්ෂණයය. ඇල්මය. ආනමරියාගේ පේ‍්‍රමය කොන්දේසි විරහිතය. තෘෂ්ණාවෙන් තොරය. ඇය කිසි විටක ඇන්ටනී තමා වෙතම රඳවා ගන්නට නොසිතයි. ඒ වෙනුවට ඔහුගේ සතුට සහ සුවපහසුව ගැන සිතයි. ඇය කිසි විටක ආපසු නොයන්න යැයි ඇන්ටනීගෙන් ඉල්ලීම් නොකරයි. ඇය ඇන්ටනී  දකින්නේ දෙවියන් විසින් කොදෙව්වට එවූ අලුත් දූතයකු ලෙසිනි. ඇගේ පේ‍්‍රමය තුළ නිදහසේ සරන්නට මේ අලුත් දූතයාට ඉඩ ප‍්‍රස්තාව ලැබේ. ආනමරියා සමඟ ඇන්ටනී අත්විඳින ලිංගික නිදහස ඔහු අරුත් ගන්වන්නේ දිව්‍යමය සුවයක් ලෙසිනි.

නමුත් ඇන්ටනී ගේ පේ‍්‍රමය එසේ නොවේ. ඔහු ඊර්ෂ්‍යාවෙන් දැවෙන්නේ ආනමරියා කෙරෙහි වන තෘෂ්ණාවෙන් බර ඇල්ම නිසාවෙනි. ආනමරියාගේ වාඩියෙහි වන කුඩා දරුවා දැකීමෙන් පවා ඇන්ටනීගේ සිත සැලේ. ආනමරියා ‘‘ජීවිතය අන්තැනක’’ කෘතියේ එන ජෙරොමිල් ගැන පවසන විට දී ඔහු සිතන්නේ ඒ ඇගේ සැමියා හෝ කළින් පේ‍්‍රමවන්තයෙක්ද යන්නය. ඒ සිතුවිල්ලෙන් පවා ඔහු තුළ මතුවන්නේ කේන්තියකි. නොරිස්සුමකි. එය ලිංගික ආධිපත්‍යය පිළිබඳ හැඟීම නිසා ඇති වන කෝපයක් විය යුතුය.

ඈ හමුවේ ඔහු කිසිදු කොන්දේසියකින් බැඳී නැත. නිදහස්ය. ඇන්ටනී තම ජීවිතය හා බැඳෙන ස්ත‍්‍රීන්ගෙන් ඉල්ලා සිටින්නේද ඒ නිදහසය. තමන්ට සැනසුමක්, නිදහසක් වන පේ‍්‍රමය ගැහැනිය තුළ සුසුමක්, කඳුළක් වීම දැණුනද, හැඟුණද මුනිවත හැර අන් යමක් ඇන්ටනීගෙන් බලාපොරොත්තු විය නොහැකි බවද පෙනේ. ඔහු ආත්මාර්ථයෙන් තොර පේ‍්‍රමයක් අපේක්‍ෂා කරයි. නමුත් ඔහුගේ පේ‍්‍රමය මුළුමනින් ආත්මාර්ථයෙන් තොර නොවේ.

‘‘ඉනික්බිති සියල්ලෝ සතුටින් දිවි ගෙවූහ.’’ ළමා වියේ අප අසන කතන්දරවල අවසානය සනිටුහන් වූයේ එලෙසිනි. සතුටිනි. ජයග‍්‍රහණයෙනි. නිශ්චිත අවසානයකිනි. නව යෞවනයට, තාරුණ්‍යයට එළඹෙන විට අප කියවන පොතපත, දකින චිත‍්‍රපට නිමා වන්නේද එලෙසිනි. අවසානය නිශ්චිතය. දුක හෝ සතුටය. ජය හෝ පැරදුමය. එක් වීම හෝ වෙන් වීමය.  නමුත් සැබෑ ජීවිතය තුළ ඉදිරියට යන විට ජීවිත කතාවලට නිශ්චිත අවසානයක් දිය නොහැකි බව අපට වැටහෙන්නට පටන් ගනියි. ජීවිතය එතරම්ම සංකීර්ණය. නැවතුමක් යනුම ආරම්භයකි. නැවතුම් සියදහස් ගණනක් විය හැකිය. එවිට ඇරඹුම් ද එතරම්ම වේ. නැවතුම සිනාවක්, කඳුළක්, සුසුමක්, ශුන්‍යත්වයක් විය හැකිය.

බත්තලංගුණ්ඩුවේ නිශ්චිත අවසානයක් නැත. කතුවරයා ප‍්‍රකාශ කරනුයේ එහි ඇත්තේ යෝජනා අවසාන බවය. නැවතීම යනු හැරවුම් ලක්‍ෂ්‍යයක් බවත්, පොතක් අවසන් කළ හැකි මුත් ඒ ජීවිත අවසන් කිරීමට කතුවරයාටවත් නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පවසයි. සැබවින්ම ජීවිතයේ යථා ස්වභාවය, සංකීර්ණත්වය විවරණය මිස ජීවිතවල අවසානය නිශ්චය කිරීම ප‍්‍රබන්ධ සාහිත්‍යය තුළ යුක්තිසහගත වූ ද අත්‍යවශ්‍ය වූ ද කාරණයක් නොවේ.

බත්තලංගුණ්ඩුව තුළ ඇන්ටනී පේ‍්‍රමයෙන් බැඳෙන්නේ ආනමරියා සමඟිනි. ගේ‍්‍රටා සමඟ ඇති වන සම්බන්ධතාවය සැලසුම්සහගතව පේ‍්‍රමයක් තුළ සිදුවන්නක් නොවේ. එසේ නම් මේ පිපීගෙන එන ගැබෙහි හිමිකාරිය ආනමරියා නොවී ගේ‍්‍රටාම වන්නේ කුමන කරුණක් නිසාද? මුලදී ඇන්ටනී පුත‍්‍රභාවයෙන් පිළිගන්නා ගේ‍්‍රටා එනම් සිය කුඩම්මා, තම පියාගේ තරුණ බිරින්දෑ ඔහුගේ දරුවා කුස දැරීම අහම්බයක්ද? මට හැඟෙනුයේ මේ කතුවරයා හිතා මතා සැලසුම් කරන කැරැල්ලක් බවය.
ඒ කැරැල්ල සම්මතයට විරුද්ධවය. සම්ප‍්‍රදායට විරුද්ධවය. මිනිසුන්ගේ ස්වභාවික හැඟීම් තලා පෙළා මරා දමන, නිදහස අවුරා තබන සීමා මායිම්, නීතිරීතිවලට විරුද්ධවය. සම්මතය තුළ අවුලක් බවට පත් කළ පවුල් පැවැත්මට එරෙහිව ය. එකී කැරැල්ල තුළින් සිදු වන නව උපතකි. එය ඇඩ්ඩිංගේ මනුෂ්‍යත්වය උර ගා බලන නව උපතකි. ගේ‍්‍රටා ගේ එනම් ස්ත‍්‍රීභාවයේ දරා ගැනීම උර ගා බලන නව උපතකි. පීතෘභාවයට නව අර්ථකථනයක් එක් කරන්නකි. මහා කොදෙව්වේ සම්මත සදාචාර නීති පද්ධතිය අභියෝගයට ලක් කරන නව උපතකි.

මේ නැවතුමෙන් එහා වන ජීවිතය බෙහෙවින් සංකීර්ණ වන බව පැහැදිලි ය. එය කෙබඳු හැඩරුවක් ගනීවිදැයි සිතීම අපහසුය. ඒ අනාගත සිත්තම මැවෙන්නේ අප එකිනෙකා තුළ ඇති ජීවිතාවබෝධය සහ ජීවිත අපේක්‍ෂාවන් අනුව නොවේද? ජීවිතය එලෙසිනි. සරල, සුන්දර, නිශ්චිත දිවි පැවැත්මක් අපේක්‍ෂා කළ හැක්කේ කාටද? ඇන්ටනී යනු බත්තලංගුණ්ඩුව තුළ වුවද රඳවා ගත හැකි අයෙක් යැයි සිතිය නොහැකිය. පියා අයිස් වාඩිය නැවත පොල්අතු අහුරන්නට සූදානම් වනුයේ පුතා රැඳෙනු ඇත යන බලාපොරොත්තුවෙන් විය හැකිය. තමන්ට නිවහල්බවේ ස්වර්ගය වූ කොදෙව්ව පුත‍්‍රයාටද එසේ වනු ඇතැයි පියා සිතනවා විය යුතුය. අන්තැනක වන ජීවිතය හඹා යන ඇන්ටනීගේ සෝර්බා චාරිකාව බත්තලංගුණ්ඩුවෙන් නිමා වනු ඇතැයි සිතිය හැක්කේ කෙලෙසින්ද?

බත්තලංගුණ්ඩු චාරිකාව පුරාම නිරන්තරයෙන් හදවත, මනස අමතා සිහිපත් කරන කතාවක් ඇත. ඒ මා කියවන්නියක බවය. ස්ත‍්‍රියක බවය. බත්තලංගුණ්ඩුවේ නිරූපිත ස්ත‍්‍රීත්වය නිරන්තරයෙන් මා කළඹයි. කම්පනයට පත් කරයි. මේ අවසානයන්හි හදවත රිදුම් දෙන වාක්‍ය ඛණ්ඩයක් ඇත. පුදුමය වන්නේ යෝජනා අවසාන තුනෙහිම මේ වාක්‍ය ඛණ්ඩය ඉස්පිල්ලක් පාපිල්ලක් තරම හෝ වෙනස් නොවී එකම ආකාරයෙන් පැවතීමය. බත්තලංගුණ්ඩුවේ නිශ්චිත අවසානයක් නැති ජීවිත කතන්දරයේ මෙතරම් නිශ්චිත හැඩතලයක් පවතින්නේ කෙලෙස ද?

‘‘වම් අත නවා පුළුල් වටොරෙහි රඳවා සිටින ගේ‍්‍රටා, දකුණතින් පිපීගෙන එන ගැබ පිරිමදින්නී, දෑස අහසෙහි පා කර හරී.’’

යෝජනා අවසාන තුනෙහිම ජීවිතයේ ස්ථාවරයන් වෙනස් වන්නේ හෝ වෙනස් කිරීම පිළිබඳ තීරණ ගනු ලබන බව හැඟෙන්නේ ඇඩ්ඩිං මුදලාලි සහ ඇන්ටනී විසිනි. යාම හෝ ඉඳීම ඔවුන්ගේ තීරණය. නමුත් මේ අවසාන තුනෙහිම ගේ‍්‍රටා ගේ ඉරියව්ව එකමය. එහි වෙනසක් නැත. ඒ ඉරියව්ව සහෘද සිත කම්පනය නොකරන්නේද? ‘‘පිපීගෙන එන ගැබ පිරිමදින්නී’’ය. පිපෙන්නේ මල්ය. මලක මුදුමෙලෙක, සුසුවඳ, රුවගුණ සියල්ල එක්ව ගත් කළ මේ නව උපත පිළිබඳව හැඟවෙන්නේ සුබවාදී අපේක්‍ෂාවකි. ගේ‍්‍රටා දැල්වුණු මාතෘපේ‍්‍රමයෙන් යුක්තව සිය ඉරණම භාර ගෙන ඇත. නමුත් ඇගේ දෑසේ බැල්ම පා වෙන්නේ ඇඩ්ඩිං වෙත හෝ ඇන්ටනී වෙත නොවේ. ඉමක් කොණක් නැති අහස වෙත ය. ඇඩ්ඩිං වෙතින් ලද සුරක්ෂිතබවේ හැඟීම, ඇන්ටනී වෙතින් පූර්ණත්වයට පත් වූ  ලිංගිකත්වය තව දුරටත් ඇගේ ජීවිතයට අදාළ නොවන්නේද? අහස වෙත පා කර හරින ඇගේ බැල්ම අයදින්නේ කුමක්ද?

ජීවිතය හඹා යන පුරුෂ ලෝකය තුළ කාන්තාවගේ භූමිකාව අපැහැදිලි අසරණ එකක් වන බවද මෙයින් ගම්‍ය වනුයේ. ඔවුන් නිහඬව කුමන හෝ ඉරණමක් භාර ගත යුතුද? ඉමක් කොණක් නැති අහස බත්තලංගුණ්ඩුව නවකතාවේ නිදහස යන්නට පර්යාය පදයක් ලෙස අර්ථ නිරූපණය වේ. අහසෙහි පා කර හරින ඇගේ දෑස නිදහස පිළිබඳව ස්ත‍්‍රිය තුළ පවතින අපේක්‍ෂාවන් මූර්තිමත් නොකරන්නේද?

‘‘පිපීගෙන එන ගැබ’’ අවසානය කොතරම් සංකීර්ණ වුවද, අවිනිශ්චිත වුවද  ජීවිතය, නිදහස, ආදරය පිළිබඳව සුබවාදී අපේක්‍ෂාවක සිතුවිලි ජනනය කරයි. එය නැවතත් නවකතාවේ ආරම්භය වෙත, ඇඞ්ඩිංගේ පීතෘභාවයේ පරිපූර්ණත්වය වෙත සිත ගෙන යයි.

‘‘උඹේ ඇස් ඉස්සෙල්ලම දැක්කෙ මම. ඒත් මං උඹේ ඇස්වලින් මගේ හීන දකින්න ගියේ නෑ.’’

සිහින හඹා යන ලෝකයක අවතැන් වූ, පිටුවහල් වූ ජීවිත පිළිබඳ අපූර්ව කතාවක් රැගෙන එන බත්තලංගුණ්ඩුව, ඒ තුළ අතරමං වන ස්ත‍්‍රී අධ්‍යාත්මයේ කඳුළ, සුසුමද ඉසියුම්ව ග‍්‍රහණය කරගන්නට සමත් වී ඇත. දූපතට පිවිසෙන ඇන්ටනී අත්විඳින නිදහස් දිවි පෙවෙත, මිනිස් අධ්‍යාත්මයන් සමග සිදු කරන සුන්දර ජීවිත ගනුදෙනුව අප ඒ කෙරෙහි ආශක්ත කරවන අතරම, ගැහැනියගේ සීමා සහිත ජීවිත කලාපයේ හුදකලාවද, වේදනාවද, පරාජිත බවද සහෘද හදවතේ ගැඹුරින් සනිටුහන් වෙයි.

කෘතිය තුළ වන භෞතික බත්තලංගුණ්ඩුව හෝ කතුවරයා ප‍්‍රාර්ථනා කළ ෆැන්ටසිගත බත්තලංගුණ්ඩුව අද නැත. කාලයේ මහා මේඝය තුළ දේශපාලන, ආර්ථික සුළිකුණාටුවලට හසු වී  කොදෙව්වේ අසිරිය බිඳී විසිරී ගොස් ය. භෞතික, සාම්ප‍්‍රදායික, සංස්ථාගත සීමාමායිම්වලින් තොර විමුක්තිය තව දුරටත් ළඟා විය නොහැකි දුරස්තර සිහිනයක් බවට පත් වෙමින් තිබියදී, අන්තැනක ජීවිතය හඹා යන්නන්ගේ පැවැත්මද ප‍්‍රශ්නකාරී වෙමින් පවතී. ඇන්ටනීට පළා යන්නට බත්තලංගුණ්ඩුව තිබුණද, අපට පළා යන්නට එවන් කොදෙව්වක්වත් ඉතිරි නොවන බව පැහැදිලිය. අපි සියල්ලෝම උපන් බිම තුළම විප‍්‍රවාසගත වූවන් සේ ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරවම හුදකලා ජීවන අරගලයකට මැදි වී සිටිමු. 


(රචිකාව විසින් 2013 වසරේ නවකතාව පිළිබඳ ලියූ දීර්ඝ විචාර ලිපිය ඇසුරින් එක් තේමාවකට ගොනුකළ සංක්ෂිප්ත සටහනකි. මෙම ලිපිය බත්තලංගුණ්ඩුව නවකතාව එළිදක්වා වසර 10 ක් පිරීම නිමිත්තෙන් සම්පාදනය කළ ‘අන්තැනක ජීවිත විමංසනය‘ කෘතියට ඇතුළත් වූ අතර එය ‘සම‘ ප්‍රකාශනයකි.)